Saturday, September 28, 2013

ලොව අමතක කළ ශ්‍රේෂ්ඨයෝ – නිකොලා ටෙස්ලා

නිකොලා ටෙස්ලා යන නාමය මට මුලින්ම හමු වූයේ “ද ප්‍රෙස්ටීජ්” (The Prestige (2006)) චිත්‍රපටයේ එක්තරා චරිතයක් ලෙසයි. එම චරිතය සැබෑ පුද්ගලයකු මත පදනම් වූවක් බව මා කිසි විටෙකත් සිතුවේ නැත. නමුත් පසු ගිය දිනක මා නෙත ගැටුන ලිපියක් නිසා නිකොලා ටෙස්ලා යනු අප කිසි ලෙසකින්වත් අමතක නොකළ යුතු ශ්‍රේෂ්ඨ පුද්ගලයකුයැයි මට සිතුනා. සරලව කියතොත් අද අප නිවසට විදුලි බලය ලැබී ඇත්තේ මෙම අපූරු විද්‍යාඥයා නිසා. මෙම ලිපිය පදනම් වන්නේ ඔහු ගැන මා අන්තර්ජාලයෙන් සොයා ගත් වැදගත් මෙන්ම සිත් ගන්නා තොරතුරු කිහිපයක් මතය.
ඔහු ඉපදුනේ ක්රොඒශියාවේ සර්බියානු යුවළකට දාව, 1856 දී. අවු. 4 ක පාසල් වාරයක් අවු. 3 කින් අවසන් කරන ටෙස්ලා, විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට ඔස්ට්‍රියාවේ, ග්‍රේස් වෙත යනවා. ඒත් උපාධිය අවසන් වන තෙක් එහි නොරැඳෙන ඔහු, 1878 දී විශ්ව විද්‍යාලයත් තමන්ගේ පවුල සමග තිබූ සම්බන්ධතා ත් අත් හරිනවා. හේතුවනම් පැහැදිළි නැහැ. 1880 දී ඔහු බුඩාපෙස්ට් වෙත යන්නේ ටෙලිග්‍රාප් ආයතනයක සේවය සඳහා. එහිදී ඔහු නිපදවන ටෙලිෆෝන් ඇම්ප්ලිෆයරය, ලොව ප්‍රථම ශබ්ද විකාශන යන්ත්‍රය ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. ඉන්ඩක්ෂන් මෝටරය ගැන අදහස ඔහුගේ හිතට එන්නෙත් මේ කාලයේදී. අද අපේ නවීන ලෝකයේ පාවිච්චි වෙන බොහොමයක් උපකරණ වල භාවිතා වෙන මෝටරය තමයි ඒ.
1882 දී ටෙස්ලා පැරිස් වෙත යන්නේ. කොන්ටිනෙන්ටල් එඩිසන් ආයතනයේ සේවය සඳහා. ඔහු මුල් වරට ඇමරිකාවට පා තබන්නේ 1884 දී. ඔහුගේ මුල් ව්‍යවසායකයා(චාර්ල්ස් බැචලර්) ගෙන් ලැබුණු රෙකමදාරු ලියුමත් රැගෙන ටෙස්ලා යන්නේ "තෝමස් අල්වා එඩිසන්" මුණ ගැහෙන්න. චාර්ල්ස් බැචලර් දීපු මේ රෙකමදාරු ලියුමේ තිබුනේ මෙච්චරයි...
"I know two great men in this world. One is you. The other one is the young man who's carrying this letter"
( "මේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ට මිනිසුන් දෙදෙනෙක් ගැන මම දනිමි. එක්කෙනෙක් ඔබය. අනෙකා මේ ලියුම රැගෙන එන්නාය" )
ඒ වෙද්දී තෝමස් අල්වා එඩිසන් හිටියේ ඉතාමත් ඉහළ තැනක. හැබැයි තමන්ගේ උත්සාහයෙන්ම නෙමෙයි. ගොඩක් දුරට තමන් යටතේ වැඩ කරන අයගේ නිමැවුම් වලට පේටන්ට් බලපත්‍ර ගෙන ඒවා අලෙවි කිරීමෙන් තමයි ඔහු නමක් හදාගෙන තිබුනේ. ඔහු වඩා දක්ෂ උනේ අනුන් කරන නිපැයුම් මාකට් කරන්න. විශ්වාස නැද්ද? බලන්නකෝ ඔහු ටෙස්ලා ට කරන දේ...
එඩිසන්ගේ ආයතනයේ තිබුණු විදුලි ජනක යන්ත්‍ර ප්‍රතිනිර්මාණය කිරීම ටෙස්ලාට බාර වෙන්නේ එය සාර්ථකව නිම කලොත් ඩොලර් පනස් දහසක් ලබා දීමේ පොරොන්දුව මත. තමන්ට නියම වුනු කාර්යය ඉතාමත් හොඳින් නිම කරන ටෙස්ලා, එඩිසන් ගෙන් ඩොලර් පනස්දාහ ඉල්ලා හිටියම ඔහුට ලැබෙන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්.
"ටෙස්ලා...ඇමරිකන් විහිලු ගැන ඔබ දන්නේ නැහැ"
මෙවෙලේ එඩිසන්ගේ ආයතනයෙන් ඉල්ලා අස් වෙන ටෙස්ලා, නිව් යෝක් නගරයේ කම්කරු කටයුතු වල නිරත වෙනවා. ඒක ඔහුට ඉතාමත් කටුක කාල පරිච්ඡේදයක් උනා. මඩ වලක හිටියත් මැණිකේ අගය අඩු වෙන්නේ නැහැ කියන්න වගේ ටෙස්ලාගේ නිසඟ කුසලතා යටපත් කරන්න දෛවය ට හැකි උනේ නැහැ.
මේ කාලේ වෙද්දී විදුලිය සම්ප්‍රේෂණය කරලා තියෙන්නේ සරල ධාරා (Direct current) යොදා ගෙන. මේ ක්‍රමයේදී සිද්ධ වෙන්නේ සන්නායකය (කම්බිය) හරහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගැලීම. කම්බියේ ප්‍රතිරෝධය නිසා විශාල වශයෙන් බල ශක්තිය හානි වීමක් මේ ක්‍රමයේදී වෙනවා. ඒ වගේමයි ඒකට යොදා ගන්න කම්බිත් විශ්කම්භයෙන් ඉතාම වැඩියි(ඇයි ඉතින් පුළුවන් තරම් ප්‍රතිරෝධය අඩු කරන්න ඕනනේ) . ඒ නිසා මේකේ තිබුණ ලොකුම අවාසිය තමයි වැඩි දුරකට විදුලිය සම්ප්‍රේෂණ කරන්න අපහසු වීම. සැතපුමෙන් සැතපුමට සම්ප්‍රේෂණ කුළුණු සවි කරන්න උනා වගේම හැම තැනකම ඝන කමින් ඉතා වැඩි අති විශාල කම්බි ප්‍රමාණයක් අදින්නත් සිද්ධ උනා. කොටින්ම කියනවනම් නගරයේ එක තැනක අහසත් නොපෙනෙන තරමට කම්බි ඇදලා තිබුණලු. එහෙම කරලත් විදුලිය ලබා දෙන්න පුළුවන් උනේ ඉතාමත් සීමිත ප්‍රදේශයකට.

"ප්‍රත්‍යාවර්ථ ධාරා" එහෙම නැත්නම් "Alternating current" කියන සංකල්පය ටෙස්ලා ට පහළ වෙන්නේ මේ වයර් ගොඩවල් දැක්කට පස්සේ. මේ ක්‍රමයේදී ඉලෙක්ට්‍රෝන ගැලීමක් සිද්ධ වෙන්නේ නැති නිසා කම්බිය දිගේ බල ශක්ති හානියක් සිද්ධ වෙන්නේ නැහැ. සරල ධාරා ක්‍රමයට වඩා සැතපුම් සිය ගානක් ඈතට විදුලිය සම්ප්‍රේෂණය කරන්න ඕන උනේ ඉතාමත් සීමිත සම්ප්‍රේෂණ කුළුණු ගානක්. ඒ වගේම ඉතාමත් සිහින් කම්බි මේ සඳහා යොදා ගන්න පුළුවන් උනා. මේ ක්‍රමය ඉතාමත් කාර්යක්ෂම වගේම ලාබදායී ක්‍රමයක්. මේ සංකල්පයේ වැදගත් කම තේරුම් ගත්ත "ජෝජ් වෙස්ටින්ග්හවුස්" කියන ධනවතා ඩොලර් 60000 කට එහි පේටන්ට් බලපත්‍රය ටෙස්ලාගෙන් මිල දී ගෙන ප්‍රත්‍යාවර්ථ විදුලි පද්ධති ස්ථාපිත කිරීම අරඹනවා. 
ඉතින්, අද මුළු ලෝකයම ඒකාලෝක වෙලා තියෙන්නේ, ඕනෑම අහුමුල්ලකට ඉතාමත් පහසුවෙන් විදුලිය ලබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙන්නේ ටෙස්ලා නිසා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද?
දැන් එතකොට තෝමස් එඩිසන් ඉන්නවා නේද? එයා සම්පුර්ණයෙන් අනුග්‍රහය දක්වමින් හිටියේ සරල ධාරා ක්‍රමයට. ඔහු විදුලි බල්බයටත් පේටන්ට් අරගෙන තිබුනේ (එයත් ඔහුට අයිති නිර්මාණයක් නෙමෙයිලු. වෙන කෙනෙකුගේ නිර්මාණයක් වැඩි දියුණු කිරීමක් පමණයි). ටෙස්ලා අස් වෙලා ගිය දවසේ ඉඳන් එඩිසන් ඔහුගේ විරුද්ධ කාරයා. ඔහුට මේක අල්ලන්නේ නැහැ. ඉතින් ඒකට උපායක් කල්පනා කරන එඩිසන් අන්තිමට මෙහෙම දෙයක් කරනවා. බල්ලෝ පූසෝ වගේ සත්තු අල්ලාගෙන ඇවිත් උන්ට ප්‍රත්‍යාවර්ථ ධාරාවක් වදින්න සලස්වලා එයින් උන් මැරෙන බව පෙන්නපු එඩිසන් කිව්වේ මෙය ඉතාමත් අනතුරුදායක දෙයක් නිසා භාවිතය නැවැත්විය යුතු බවයි. ඒත් ඉතින් අදටත් අපේ ගෙවල්වලට විදුලිය ගේන්නේ ඔය ප්‍රත්‍යාවර්ථ ධාරාව, ටෙස්ලාට පින් සිද්ද වෙන්න. හැබැයි එඩිසන් මහත්තයම තමයි ආණ්ඩුවට යෝජනා කරලා තියෙන්නේ හිර කාරයින්ට මරණ දඬුවම දීම සඳහා ප්‍රත්‍යාවර්ථ ධාරාව යොදා ගන්න කියලා.
කොහොම හරි මේ සිද්ධි වෙන අතරේ "ක්‍රිස්ටෝපර් කොලොම්බස්" ගේ ඇමරිකා ආගමනයේ 400 වන සංවත්සරය සමරන දවස ලං වෙනවා. ඒ සඳහා උත්සවාකාරයෙන් චිකාගෝ නගරයේ ප්‍රදර්ශන සහ සංදර්ශන පැවැත්වීමට (World's Colombian Exposition / World's Fair කියන්නේ ඒකට) සූදානම් වන අතරේදී එය ආලෝකවත් කිරීම බාර දෙන්න ටෙන්ඩර් කැඳවීමක් කරනවා. ඒක දිනාගන්නේ ටෙස්ලා, වෙස්ටින්ග්හවුස් ගේ අනුග්‍රහයෙන්. හේතුව තමයි සරල ධාරා යොදාගෙන කරන ආලෝකකරණය ට වැය වන මුදලින් අඩක් පමණක් මේ සඳහා වැය වීම. ඉතින් ටෙන්ඩරය ලැබෙන එක පුදුමයක් නෙමෙයි. දැන් මෙතන තව ප්‍රශ්නයක් වෙනවා. අර ටෙන්ඩර් එක ගන්න එඩිසන් මහත්මයත් ලන්සු තිව්වට ඔහුට ඒක ලැබුනේ නෑ. ඉතින් ඔහු කරන්නේ ටෙස්ලා ට අකුල් හෙලන එක. විදුලි බල්බයේ පේටන්ට් බලපත්‍රය තිබුනේ එඩිසන් අතේ නිසා ආලෝකකරණය සඳහා බල්බ යොදා ගන්න ටෙස්ලාට තහනම් කරනවා...
දැන් ඉතින් බල්බ් නැතුව මොන ආලෝකකරණද? ඒත් ටෙස්ලා නෙමෙයි ඒවායින් සැලුනේ. ඔහු ඒ සඳහා වෙනස්ම ආකාරයේ බල්බයක් ඔහු විසින්ම නිපදවනවා (පසු කලක ඔහු නිපදවන ගෑස් බල්බයේ සංකල්පය තමයි අද සී එෆ් එල් බල්බ වල භාවිතා වන්නේත්). අදාළ දවසේ දහස් ගණන් බල්බ දල්වමින් ආලෝකකරණ කටයුත්ත අති සාර්ථක ලෙස නිම කරන්න ඔහුට පුළුවන් වෙනවා. ඒ තමයි ඉතිහාසයේ ප්‍රථම වරට එවන් දෙයක් විදුලියෙන් ආලෝකකරණය කළ අවස්ථාව. ඉන් පස්සේ තමයි ටෙස්ලා ගේ නම ලොව පුරාම ප්‍රසිද්ධ වෙන්නේ.
ටෙස්ලා ගේ අති සාර්ථකත්වය දකින නයගරා ඇල්ල භාරව තිබූ කොමිසම, ජල බලය යොදාගෙන ප්‍රත්‍යාවර්ථ ධාරා නිපදවීම අත්හදා බැලීමට ටෙස්ලාට අවසර දෙනවා. නයගරා ඇල්ලෙන් විදුලිය නිපදවුවොත් එය භාවිතා  කළ හැකි ලඟම නගරය උනේ "බෆලෝ නගරය". එයට ඇල්ලේ ඉඳන් සැතපුම් 20 ක් පමණ ඇති නිසා සරල ධාරා සම්ප්‍රේෂණය කොහෙත්ම ප්‍රයෝගික නැහැ. ඒ නිසා ටෙස්ලා ගේ ප්‍රත්‍යාවර්ථ අත්හදා බැලීම් වලට නිතරඟයෙන් ඉඩ ලැබෙනවා. නයගරා ඇල්ලේ ජල විදුලි සම්ප්‍රේෂණය ස්විචය  විවෘත කරන අවස්ථාවේ ටෙස්ලා එතන ඉඳලත් නැහැ. එය නිවැරදිව වැඩ කරන බවට ඔහුට ඒ තරමටම  විශ්වාසයක් තිබුනා. ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය තමයි
1898 දී පමණ ටෙස්ලා කළ තවත් සොයා ගැනීමක් තමයි දුරස්ථ පාලනය. අද, රූපවාහිනියේ පටන් සැටලයිට් දක්වා හැම උපකරණයකම වගේ පාවිච්චි වෙන්නේ ටෙස්ලාගේ මේ සොයා ගැනීම. 1917 දී ටෙස්ලා ගෙන ආ තවත් සංකල්පයක් තමයි රේඩියෝ තරංග පරාවර්තනය කිරීම මගින් වස්තුවක වේගය සහ ස්ථානය නිර්ණය කිරීම. එය ආරක්ෂක කටයුතු සඳහා යොදා ගැනීම ටෙස්ලා ගේ අදහස උනත් එවකට නාවික හමුදාව සම්බන්ධ නිලයක් දැරූ එඩිසන් විසින් එය වළක්වනවා. රොබර්ට් වොට්සන් "රේඩාර්" සොයා ගත්තේ ඉන් අවු. 17 කට පස්සේ. ඇත්තටම එහි ගෞරවය ලැබෙන්න ඕන ටෙස්ලා ට. "විල්හෙල්ම් රෙන්ට්ගන්" එක්ස් රේ සොයා ගැනීමට අවු. 8 කට පෙර, ටෙස්ලා එක්ස් රේ යොදා ගෙන පරීක්ෂණ කර තිබෙනවා. ටෙස්ලාට ඒ දේවල්, ඔහුගේ පරීක්ෂණ වලට යොදා ගත් අතුරු නිපැයුම් පමණයි.
අනාගතයේ නිසැකවම ඇති විය හැකි බලශක්ති අර්බුදය (ඛනිජ තෙල්, ගල්අඟුරු වැනි දේ නැවත උත්පාදනය නොවන සම්පත් බැවින්) ගැන අනුමාන කරන ටෙස්ලා, විකිරණ බල ශක්තිය හඳුන්වා දෙනවා. විශ්වයෙන් අපට ලැබෙන අසීමිත ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා සූර්ය කෝෂ නිපදවීම ඇරඹෙනවා.
නොබෙල් ත්‍යාග ලාභී "ගුග්ලිමෝ මාර්කෝනි" රේඩියෝව සොයා ගත් බව හැමෝම අහල ඇති. ඒත් ඒ සොයා ගැනීමට යොදාගත් අනෙක් සියලු නිමවුම්, ටෙස්ලාගේ බව දන්නේ නැහැ නේද? ඒත් ටෙස්ලා කිව්වේ මෙපමණයි.
"Marconi is a good fellow...Let him continue. He is using 17 of my patents"
රේඩියෝව නිපදවීමට මාර්කෝනි විසින් ටෙස්ලාගේ පේටන්ට් 17 ක් යොදා ගෙන තිබෙනවා. මේ නිසා පසු කලෙක රේඩියෝව සොයා ගැනීමේ ගෞරවය නැවත ටෙස්ලා වෙත පවරනවා.

ටෙස්ලා ගැන කතා කරද්දී තවත් කතා නොකර බැරි දෙයක් තියනවා. "වයර්ලස්" එහෙම නැත්නම් රැහැන් රහිත සම්ප්‍රේෂණය ගැන හැමෝම දන්නවනේ. ටෙස්ලා කොයිල් එකෙන් කරන්නේ රැහැන් රහිත බලශක්ති සම්ප්‍රේෂණය කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ. අවකාශය හරහා විදුලිය සම්ප්‍රේෂණය කරන්න (හරියට රේඩියෝ තරංග ගමන් කරනවා වගේ)
මේ විදියට සම්ප්‍රේෂණය කරන විදුලිය සරලවම ප්‍රතිග්‍රාහකයක් වෙත (බල්බයක් වැනි) ලබා ගන්න හැකියාව තියනවා, කිසිම වයර් ඇදීමක් නැතිව. ඒ කියන්නේ ටෙස්ලා කොයිල් එකක් සම්ප්‍රේෂණය කරද්දී ඒ සීමාව තුල කෙනෙක් බල්බයක් නිකන්ම අතේ තබා ගෙන හිටියොත් එය දැල්වෙනවා, හැබැයි මිනිසාට හානියක් නොවී. කොයි තරම් අපූරු සංකල්පයක්ද? ටෙස්ලා මේ ගැන කොලරාඩෝ ප්‍රාන්තයට ගොස් පරීක්ෂණ පවත්වද්දී මිනිසුන් හිතුවේ ඔහු දෙවියන්ට අයත් වැඩ කරන පිස්සෙක් විදිහට. නැවත නිව්යෝක් වෙත එන ටෙස්ලා ගේ අදහස වෙන්නේ විශාල ටෙස්ලා කුළුණක් තනා ලෝකයටම විදුලිය, සංගීතය, රේඩියෝ තරංග ආදී සියල්ල සම්ප්‍රේෂණය කිරීම. ඔහු මේ සඳහා "මෝගන්" නම් මුදල් අනුග්‍රාහකයෙක් සොයා ගන්නවා.
ඒත්, අවාසනාවකට කුලුන තනාගෙන යද්දී ගුග්ලිමෝ මාර්කෝනි රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කරන නිසා මෝගන් හිතනවා තව දුරටත් මේකට අනුග්‍රහය දක්වන එකේ තේරුමක් නෑ කියලා. ටෙස්ලාගේ සැලසුම රේඩියෝ තරංග සම්ප්‍රේෂණයට වඩා ඉතාමත් එහා ගිය එකක් බව ඔහුට වැටහෙන්නේ නැහැ. කුලුනේ වැඩ අතරමග නතර වෙනවා. මේ නිසා ටෙස්ලා විසින් ලොවට දීමට නියමිතව තිබූ අසිරිමත් ත්‍යාගය අපිට අහිමි වෙනවා.
ටෙස්ලා මිය යන්නේ 1943 දී නිව්යෝකර් හෝටලයේ ඔහුගේ කාමරය තුලදී, තනිවම. ඔහු මිය ගොස් ඇති බව හෝටල් සේවකයින් දැන ගන්නේ දිනකට හෝ දෙකකට පසුව.  ඒත් සමගම ක්‍රියාත්මක වන ඇමරිකන් ආණ්ඩුව ටෙස්ලාගේ සියලුම ලිපි ගොනු තමන් භාරයට ගන්නවා. ඒ හේතුවක් ඇතුව. එය දෙවන ලෝක යුද්ධය පැවතුනු කාලය. ටෙස්ලා කරපු ඇතැම් පරීක්ෂණ සතුරා අතට පත් උනොත් ඉතාමත් විනාශකාරී වන බව ඔවුන් දැනගෙන සිටියා.
ඉන් එකක් තමයි භුමි කම්පා යන්ත්‍රය. ඕනෑම වස්තුවකට  අනන්‍ය අනුනාද සංඛ්‍යාතයක් ඇති බවත් ඒ සංඛ්යාතයම වෙනත් ප්‍රභවයකින් ඇති කලොත් ඒ වස්තුව කඩා බිඳ විනාශ කළ හැකි බවත් දන්නවා ඇති නේ. ඒ තමයි අනුනාදය කියන සංසිද්ධිය (ලතා මන්ගේශ්කාර්ගේ කටහඬ ට පුළුවන්ලු වයින් වීදුරුවක් අනුනාද කරලා බිඳින්න). ඉතින් ටෙස්ලා කලේ වස්තුවක අනුනාද සංඛ්‍යාතය නිර්ණය කරලා එයට සමාන සංඛ්‍යාතයක් ඇති ශබ්දයක් නිකුත් කරන්න පුළුවන් උපකරණයක් හදන එක. ඉතා විශාල ගොඩනැගිලි, පාලම් පවා මේ පුංචි උපකරණය යොදා ගෙන විනාශ කරන්න හැකියාව තියනවා.
ඒ විදියේ තවත් පරීක්ෂණයක් තමයි "Death rays". ඉතාමත් ඈතදී මිසයිලයක් පවා විනාශ කිරීමේ හැකියාව මේ කිරණ වලට තියනවලු.
දැනට මේ ලිපි ගොණු ටෙස්ලා කෞතුකාගාරයේ තිබුනත් කොපමණ ලිපි ප්‍රමාණයක් සැඟවිලා ද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ.

ටෙස්ලා එදා ඉදිරිපත් කළ සංකල්ප බොහොමයක් මනස්ගාත ලෙස සමාජය විසින් බැහැර කලත් නවීන ලෝකයේ සියයට අසූවක් පමණම භාවිතා වන්නේ එම සංකල්ප. එහෙත් ටෙස්ලාට ඒවායේ ගෞරවය නිසි පරිදි ලැබෙනවාද යන්න සැක සහිතයි. ටෙස්ලා අනාගතයේ ජිවත් වුනු කෙනෙක්. . අද කාලෙයේ නම් මෙවැනි සංකල්ප ඉදිරිපත් කරන්නෙක් මහා ධනවතෙකු වනු නියතයි. ඒත් ටෙස්ලා ජිවත් වුනේ දුප්පතෙක් විදියට. සියවසක පමණ අනාගතයට සරිලන පරීක්ෂණ වෙනුවෙන් මුදල් වියදම් කළ නිසා නැවත ඉපැයීමක් සිද්ධ උනේ නැහැ. ඔහුගේ සොයාගැනීම් වලට අන් අය පැසසුම් ලබද්දී, ටෙස්ලා කළේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තව තවත් අසිරිමත් දේ ලොවට දීම සඳහා තම මුදල්, කාලය කැප කිරීම. ජූලි 10, ටෙස්ලා දිනයයි. ඔහු වෙනුවෙන් අවුරුද්දේ දින කොපමණ වෙන් කළත් වරදක් නැතැයි මට සිතේ. 
ලෝකයක් තැනූ ටෙස්ලා, ලෝකය විසින් අමතක කරන ලදුව...






"Our virtues and our failings are inseparable...like force and matter...When they separate, man is no more..." - Nikola Tesla

Monday, September 23, 2013

Mahathma Gandhi......

In my view,
One of the chief things to note
in Gandhi's life is that he was not born great.
He was not born with things that usually help
people to become great.
He was born an ordinary man
with ordinary capabilities.
and he literally hammered
himself into shape.

He was a man
who believed in making things
as simple as possible......


මගෙ ‍දු‍වේ ‍නු‍බ ‍අ‍ව‍දි‍යෙන්‍‍නම්‍ .......

(මෙය 2001 වසරේ මගේ දින නැති දින පොතේ තැබු සටහනක්)

රත්න ශ්‍රී විජේසිංහ කියන ගීත රචකයාට වඩා මම කැමති රත්න ශ්‍රී විජේසිංහ කවියාටයි. හේතුව රත්න ශ්‍රී ගේ කවි ඔහුගේ ගීත වලට වඩා මා සිත තදින් ඇදීයාමයි. එහෙත් මෑතකදී ඇසුන රත්න ශ්‍රී ලියු දිවුල්ගනේ ගයන  මගෙ ‍දු‍වේ ‍නු‍බ ‍අ‍ව‍දි‍යෙන්‍‍නම්‍  ගීතය මගේ ඒ සිතුවිල්ල වෙනස් කලා.
‍‍මෙම ගිතය අසන සැම විටම මගේ සිත මගේ දියණිය ලග..
එය අසා රසවිද විතරක් මදි. එහි ‍අ‍රු‍ත‍ද හොදින් වටහා ගතයුතුයි මගේ දු‍වේ..........

මගෙ ‍දු‍වේ ‍නු‍බ ‍අ‍ව‍දි‍යෙන්‍‍නම්‍
‍මේ ‍රැ‍යේ ‍මි‍හි‍රි‍ම ‍වෙ‍ලා‍ව‍යි ‍
දො‍ර ‍ඇ‍රන්‍ ‍එ‍ලි‍ය‍ට ආ‍වො‍තින්‍
මේ ‍මි‍හි‍රි ‍දේ‍වල්‍ ‍නු‍බ‍ට‍ම‍යි .....

සේපාලිකා මල් බිමට බැහලා ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා  බිම බලාගෙන වැ‍ව්‍ දියට පෙම් බැදි වෙලාවයි
මේ‍ පොලව කෙතරම්‍ සුන්දරද මගෙ දු‍ තනියම සිනාසෙයි
මගෙ ‍දු‍වේ ‍නු‍බ ‍අ‍ව‍දි‍යෙන්‍‍නම්‍........
ඝණ ක‍රු‍ව‍ළට අපි පෙම්‍ කලොත් ඉර හද තරු‍වලට ණය ගැතියි
ලොව දු‍න්නු දේවල් අද අපට හෙට ලොවට පෙරලා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්‍ මුලු ලොවම ඔබටත් ආදරෙයි
මගෙ ‍දු‍වේ ‍නු‍බ ‍අ‍ව‍දි‍යෙන්‍‍නම්‍........

Sunday, September 22, 2013

කාගෙන් ද හිත හයිය අරගත්තෙ හැරයන්න......

රෑ තිස්සෙ නිදිවරන නෙත කඳුළු සැලුවා
බෑ ඉන්න තනියෙන් ම හිත ඔබව සෙවුවා
හිතුවාට දුර යන්න මගෙ හීන බිඳලා
සැනසෙන්න පුළුවන් ද මගෙ කඳුළු දැකලා
පෑ සිනාවන් මැවෙන්නේ
කී කතා තව ඇසෙන්නේ
වේදනා ගිනි නිවෙන්නේ නැතුවා
දැනුනේ නැති ද ඔය හිතට
මට දැනෙන මේ තනිය
ගියෙ ඇයි ද මගෙ හීන බිඳලා

පාවෙන්න දුර අහසෙ මා එක්ක යමු කීව
අමතක ද මා නැතුව ඔබ පියඹලා
කාගෙන් ද හිත හයිය අරගත්තෙ හැරයන්න
වෙන්වෙන්න පුළුවන් ද මා හැර දමා

මට ආදරේට පාර කීව ජීවිතේ ම මාගෙ කීව
ඔබ ඇයි ද අද වෙන්වෙලා
දඟ පෑව දෑස මාගෙ ගාව නෑනෙ පේන මානයේ ම
ඇයි දෙන්නෙ මට වේදනා

මේ දුන්නු දුක් ගින්න නිමවෙන්නෙ කවදා ද
ඔබ එන්නෙ නැතුවා ද හිත උණුවෙලා
පායන්න නෙතු ගාව මේ ගීය ඇසුනා ම
මං ඉන්නවා තාම එනකන් බලා

Saturday, March 23, 2013

සයිප්‍රස් බැංකු අර්බුදය....


පසුගිය අගහරැවාදා  මා වැඩට යනවිට ඇලෙක්සැන්ඩ්‍රා පාරේ ඇති සයිප්‍රස් බැංකු මුලස්ථානය අසල විශාල කලබගෑනියක් දුටිමි. මිනිසුන් විශාල පිරිසක් මුදල් ලබා ගැනීමට ට්‍රෙලර් යන්ත්‍රය අසල පෙල ගැසි සිටි අතර තවත් විශාල ප්‍රමාණයක් බැංකුවට ඇතුල්වීමට උත්සාහදරමින් සිටියහ. රෑපවාහිණි නාලිකා සියල්ලම පාහේ කැමරා බැංකුව දෙසට යොමුකර ඒ අසල රැදී සිටියහ.
වැඩ නිමවී සවස නිවසට පැමිණ මා අන්තර්ජාලය මගින් උදයේ දුටු සිද්ධියේ කරැණු සොයනා විට දැනගත් දේ පහත සටහන් කරමි. ( කරැණු සපයාගත්තේ  reuters, europa.eu/news වෙබ් අඩවි ඇසුරෙනි.)
යූරෝපාකලාපය තුළ මීළඟට ආර්ථික වශයෙන් වැනසී යාමට සිටින රට බවට සයිප්‍රසය පත්වෙමින් තිබෙන බව මෙම සඳුදා දින ප්‍රකාශයට පත් වූ වාර්තාවක සඳහන්ව ඇත..
ග්‍රීසීයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඒහි ඝෘජු බලපෑමක් ලෙස සයිප්‍රසය ද මෙසේ බංකොලොත් තත්ත්වයට පත්ව ඇති බව සඳහන් වේ.
යුරෝපීය සංගමයේ මුදල් ඇමතිවරුන් ණය බරින් ඉන්නා අසල්වැසි ග්‍රිසියෙන් සයිප්‍රසයට ඇති බලපෑම නිසා යුරෝ බිලියන 10 ක සහනාධාර ලබා දෙනු පිණිස ගෙනා එක් යෝජනාවක් වූයේ ඔවුන්ගේ බැංකු වල ඇති තැන්පතු වලින් 9.9% ක් අහිමිකරණයට (forfeit) සයිප්‍රසය කැමති කරවා ගැනීමයි. ඉරිදා උදෑසන තීරණය ප්‍රසිද්ධ වීමත් සමඟ පුදුමයට පත් වූ සයිප්‍රස් වැසියන් පැය ගණනක් තුල දී සල්ලි මුදල් තම බැංකු ගිණුම් වලින් එළියට ගෙන බැංකු චකිතයක් ඇති කරන්නට සමත් වූහ. ඉලෙක්ට්‍රොනික් සල්ලි යැවීම වහාම නතර කරන ලදි.
සයිප්‍රස් වැසියන් ගේ තැන්පතු වලින් යම් ප්‍රතිශතයක් ගැනීමෙන් යුරෝ බිලියන 6 ක් සෙවීම සයිප්‍රස් පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුත්තකි. සයිප්‍රස් පාර්ලිමේන්තුවේ සුළු පක්ෂ මිසක මහා පක්ෂයකට බලයක් නැත. මෙය නොකළ හොත් නිකොස් ඇනස්ටාසියාඩේස් ජනාධිපතිවරයා කියන්නේ සයිප්‍රසයේ විශාලතම බැංකු දෙක කඩා වැටෙන බවයි.
සයිප්‍රසයේ දී බැංකු ණය නොගෙවීමක් සිද්ධ වුවහොත් එයින් යුරෝ කලාපීය තුල ආයෝජක විශ්වාසයන් පළුදු වී ගොස් යුරෝපීය මධ්‍යම බැංකුව විසින් යුරෝ කලාපය තුල යුරෝව ස්ථාවර ව තබා ගන්නට ගන්නා සියළු උත්සාහයන්ට ද බලවත් පහරක් එල්ල වනු ඇත.
මෙතෙක් යුරෝපීය මධ්‍යම බැංකුව විසින් කිසි විටෙක බැංකු තැන්පතු වලට අත ගැසීමක් නොකළහ. මෙයින් මේ වෑයම කලාපයේ වෙනත් රටවල් වලට ද පැතිර යන්නේ නැතැයි කියන යුරෝ නිලධාරීන්ගේ ප්‍රකාශය කිසිවෙක් පිළිගන්නා බවක් දැනට පෙනෙන්නට නැත.
එසේම, මෙයට ඉඩක් ලැබුනහොත් යුරෝ කලාපයෙන් පූර්වාදර්ශයක් ගනිමින් අනෙකුත් බංකොළොත් රටවල් වලට පැතිර යාමේ අවදානමක් ද නැතැයි කීමටද බැරිය.
සති තුනකට පමණ පෙර බලයට පත් වූ ජනාධිපති ඇනස්ටාසියාඩේස් කියා සිටින්නේ එක්කෝ මහා විනශාකාරී අවුලකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා නැත්නම් මේක නිසි කළමනාකරණයකින් බේරා ගත හැකියි කියාය.
සයිප්‍රස් බැංකු යුරෝපය පුරා සහ රැසියානු රටවලද ඇති වල තැන්පතු ඇත්තේ සයිප්‍රස් මුදල් පමණක් නොවේ. රුසියානුවන් මහත් පිරිසක් ද, සෙසු යුරෝපීයයන් ද සයිප්‍රස් බැංකු වල මුදල් තැන්පතු කර ඇත්තහ.
ඉතාලිය, අයර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය හා දෙවරක් බේරාගත් ග්‍රිසිය යුරෝ කලාපයේ දැඩි මූල්‍ය ගැටළු ඇති කරමින් සිටින අතර විසඳුම් කිසිවකට කැමති ජනතාවක් වාසය නොකරන රටවල් වෙති. ආණ්ඩුවේ සහනාධාර භුක්ති විඳින ඔවුන් ඒවා අඩුවෙනවාට අකමැතිය. එහෙත් සහනාධාර ලැබෙන මාර්ග සියල්ලම දැන් හිඳී ඇතැයි ඔවුන් පිළිගන්නට ද අකමැතිය. ආණ්ඩු සහ බැංකු කුමන ගිවිසුමකට එළඹුනත්, අවසානයේ අහිමි වන්නේ තමන්ගේ තැන්පතු බව යුරෝ කලාපීය පුරවැසියන් තවමත් මුහුණ දෙන්නට අකමැති තිත්ත ඇත්තයි
.

Friday, March 22, 2013

සදසාවී මා......

පසුගියදා මෙහි පැවති ආධුනික ගී ප්‍රසංගයෙදි ගැයුනු ගී වලට එතරම් උනන්දුවෙන් සවන් නොදුන්නත් අහම්බෙන් කණ වැකුනු ‍සඳ සාවී මා ගීතය අවසන් වනතෙක් මා අසා සිටියා. එම ගීතය ගැයු ආධුනික ගායිකාවට සාධාරණයක් ඉටු වුවාද යන්න වෙනම කාරණයක්. මාගේ මෙම ලිපියේ අරමුණ එම ගීතයේ අන්තර්ගතය පිලිබද සටහනක් තැබීමයි.
වසන්තා මදුරාංගනී ගයන මෙම ගීතය ජන සංගීතය ඇසුරැ කරගෙන වෙස්සන්තර විරිතට අනුව තනුව  මුසුකර ඇත්තේ අප අතරින් වියෝවුන ලයනල් රන්වලයන්ය.
සඳ සාවී මා ගීතයට පදනම වී ඇත්තේ ලංකාවෙ අතීතයේ සුප්‍රකට බඹර කැපීම හා සම්බන්ධ සිද්ධියකි. බඹර කපනවා යනු විශාල ගල් පර්වතවල බඹරැන් විසින් බැද ඇති බඹරවද කඩා එහි ඇති පැණි එකතුකර ගැනීමයි.  සාමාන්‍යයෙන් බඹරැන් බඹරවද සාදන්නේ ගල් පර්වතවල ඉහලට වෙන්නටය.  බඹර කපන්නා ඒ කාර්යයට යන්නේ සවිමත් කඹයක් අතැතිව තවත් කෙනෙකු සමගය. එක් අයෙකු ගල මුදුනේ සිට යම් කිසි තැනක හිරකර කඹය අල්ලාගෙන සිටියදී  අනෙකා කඹ‍ය දිගේ පහලට බැස බඹරවදය කඩා පැනි ගනියි. මෙම කාර්යයට යන අය කඹය අල්ලාගැනීමට රැගෙන යන්නේ තම මස්සිනාය.(බිරිදගේ සහෝදරයා). එයට හේතුවක් ඇත. එනම් උඩ සිටින්නා කඹය අතහැරියොත් ඔහුගේ ජිවිතය අවසානය. තමාගේ පණ නැසුනොත් තනි වන්නේ උඩ සිටින්නාගේ සොහොයුරිය බැවින් එසේ නොකරන බව බඹර කපන්නාට විශ්වාස බැවිනි. "කඹ‍ය දෙන්නෙත් මස්සිනාටයි" යන ප්‍රකට කියමන සෑදි ඇත්තේත් මෙම හේතුව පදනම් කර ගෙනය.
සඳ සාවී මා ගීතයෙන් කියවෙන්නේ තම සැමියා සමග බඹර කැපීමට කැලයට ගිය සහෝදරයා නැවත පැමිනියේ තනිවම බැවින් තම සැමියාට කුමක් වුයේද යන්න සහෝදරයාගෙන් විමසන ශෝකාකූල වැලපිල්ලයි.

සඳ සාවී මා . . .
සඳ මඩලේ පාළුවේ මෙදා
බඹර ගලින් රූටාලා
සඳ නිවුනිද කියපන් මයෙ මලයා
සඳ නිවුනිද කියපන් මයෙ මලයා

දෙමස්සිනාලා . . .
මල් පැණි බීවා දෝ...
බඹර කපන්ටා..බඹර කපන්ටා
බමන මතින් කරනම් ගැසුවාදෝ
තනි වූවේ මාවයි මයෙ මලයා
තනි වූවේ මාවයි මයෙ මලයා

සිත පෑරීලා
බඹරුන් ඇන්නා දෝ...
අම්මාපල්ලා ...අම්මාපල්ලා
උන් ඒ වග දන්නේ නැතුවාදෝ
තනි වූවේ මාවයි මයෙ මලයා
තනි වූවේ මාවයි මයෙ මලයා

ගීතය මෙතැනින් අසන්න.....

Sunday, March 17, 2013

ගම මාතර

මාතර පලාතේ ගුරැවරියක් කොළඔ පාසලක උගන්වන විට ‍ඇහැක් විදියට කණක් අදින්න යයි කී විට ලමුන් තුෂ්නිමිභුතව බලා සිටියේ යයි කතාවක් මා අසා ඇත. මෙම කතාව මාතර භාෂා ශෛලිය උපහාසයට ගැනීමට යොදාගත්තක් වුවත් ‍ඇහැක් විදියට කණක් අදින්න යන්නෙහි තේරැම පුලුවන් විදියට කණක රෑපයක් අදින්න යන්නයි.
මාතර භාෂාවෙ හුගක් වචන වෙනස්ය. මමද මාතර උපත ලැබ උසස් අධ්‍යාපනය ලැබීමට අගනුවරට පැමිනත් කාලයක් ගතවනතෙක් කතාබහ කලේ එම වචනය. දෑනුදු කලාතුරකින් වුවත් ගමට ගියවිට කතාබහේදි එම බස මුවට නැගෙන්නේ අප එම බස සමග ඇති පාරම්පරික බැදීම හේතුවෙනි.
ලංකාවට නිවාඩුවට ගිය විට හැකි විගස ගමට ඉගිලෙන්නේ එහි ඇති මිහිර සුන්දරත්වය විදීමටයි. අපගේ නැදෑ හිතමිතුරන් සමග සෙනෙහස බෙදාගෙන ගෙවන ඒ සුලු කාලය මනසට නව ප්‍රබොධයක් ගෙනදෙන්නේ නිතැතිනි. ගමේදි හමුවන කතාබස් කරන සියලු දෙනා නෑදෑයින් වුවද නොවුවද එකිනෙකා අමතන්නෙ නම අගට නෑකමක් සමගය.  ....... මාමා, ........නැන්දා, .......අය්යා, .......මල්ලි වශයෙන් නමට අගින් යොදා කතාබහ කිරීම එහි සිරිතයි.
මාතරදී වචනවල ඇති වෙනස විමසා බලනවිට. ඔබ (ඔයා) යන්න මාතරදී "ඔහේ" ය. ඔහේ යනුවෙන් ඇමතීම වඩාත් ලෙන්ගතු කමක් පෙන්වයි. මාතරදී හාමුදුරුවන්ද, මව මෙන්ම පියාද ඔහේ වන්නේය. කෙසේ වෙතත් මාතරදී කාටවත් තමුසේ කියා ඇමතීමෙන් වලකිනවා නම් ඇඟට ගුණය. ඒ මාතරදී තමුසේ කියා ඇමතීම එතරම් සුහද ඇමතීමක් නොවන බැවිනි.
ගමේදි හමුවන අයෙකු මාගෙන් " ඔහේ රට ඉදල ආවෙ කවදැයි " කියා විමසයි. කවදාද යන්න මාතරදී කියන්නේ කවදැයි කියාය. කතාබස් කරන අතර මෙරට වර්ථමාන තත්වය ගැන පැවසු විට ඔහු අසන්නනේ  "ඔහේ කියන විදියට තවත් එහේ ජීවත්වෙන්න ඇහැකියැ". අර "මක්කටෙයි " තවක් එහේ ඉන්නේ. ලංකාවට ආවනං අවරයිනේ. මාතර භාෂවෙන් කවදාද යන්න කවදැයි වේ. පුලුවන්ද යන්න ඇහැකියැ වේ. තවද කුමකටද යන්න මාතරදී මක්කටෙයි වේ.
මාතර දරුවන්ට ආච්චිලා සීයලා නැත. ඉන්නේ ආත්තලා, මුත්තලාය. දණහිස් කටුවට මාතරදී කියන්නේ දණ පොලොත්ත කියාය. දිය ලුණු දමන්නේ පොල්කටුවේ නොව ලුණු පොලොත්තේය.
පාපැදියක ලගේජයේ බැදි  පෙට්ටියක මාලු අසුරාගෙන විමලෙ මාලු විකිනීමට ගමට එයි. බාල මහලු කවුරුත් ඔහුට විමලෙ අයියා කියා අමතයි. විමලෙ අයියා සෑම කාන්තාවකටම අමතන්නේ හාමිනේ කියාය. පිරිමි අයට මහත්තයා ය. විමලෙ අයියාගෙන් මාලු ගැනීමට ගොස් අපේ අම්මා මෙසේ කියයි  " අපෝ මේ හින්නංකිතර අලගඩු පැටියට රුපියල් තිහක් හොදටම වැඩියි ". මාතරදී කුඩා නැතිනම් පුංචි යන්න පවසන්නේ හින්නංකිතර කියාය. සමහර මාලු වර්ග වලට මාතර වෙන නම් ඇත. දැනට එම නම් මගේ මතකයට නොනැගෙයි. ඉතා කුඩා මාලු වර්ගයකට "කලවැන්නෝ " කියා කියන බව මතකයේ ඇත.
ගස්ලඹු යනුවෙන් හඳුන්වන පලතුර මාතරදී පැපොල්ය. දිවුල් මාතර අයට ජූල්ය. මාතර කූඹි නැති අතර ඉන්නේ හින්නෝය.
ළමයින්ට උප්පැන්න සහතිකයට නමක් යෙදුවත් නිවසේ ආදරයට ඇමතීමට වෙනත් නමක් පටබැදීම මාතර සමාන්‍ය සිරිතය. බොහෝ විට හිච්චි පුතා. රං පුතා. සුදු පුතා. වැනි වි‍ශේෂන පදයක් සහිත පුතා යන පදය යෙදීම සිරිතයි. මේ අය වයසින් මුහුකුරා යනවිට හිච්චි මහත්තයා. රං මහත්තයා. සුදු මහත්තයා වෙයි. මාගේ බාප්පා හින්නි මහත්තයා ය. ලොකු තාත්තා හීන් මහත්තයා ය. තවද  මෙවැනි විශේෂන පද සහිත නම් ඇති ‍ඥාති විශාල පිරිසක් මට මෙන්ම මාතර ගම වු සැමටම ඇත.
මාතර ගෙවල්වල බත උයනවා වෙනුවට බත පිහයි. ඵණු. කොස් ඇට වැනි දේ පොතු ඇර සුද්ද කරනවාට කියන්නේ   ඵණු හොදකරනවා නැතිනම් කොස් ඇට හොදකරනවා යනුවෙනි. කෙහෙල්මුව මාතරදී වතුමොයිය. තවද පොල් ලෙලි ගසනවාට මාතර කියන්නේ පොල් ඔයනවා ය. මල් පොහොට්ටු  මාතරදී මල් කුප්පි ලෙස හදුන්වයි.
මා ගමට ගියවිට අසල්වැසි ඥාතියකු පැමින ආගිය තොරතුරැ කතා කරමින් සිටින විට අපේ අම්මා මෙසේ පවසයි. "එහෙනං ඔහෙලා දෙන්නා දොඩ දොඩ ඉන්න. මම තේ  ටිකක් වක්කොරන්නං. මාතර භාෂාවෙන් කතා කරනවාට කියන්නේ දොඩනවා කියාය. තේ සාදනවාට වක්කොරනවා කියයි.
තවත් මෙවැනි යෙදුම් බොහෝ ඇතත් ලිපිය දිග වැඩිවන නිසා මාතර භාෂා ශෛලිය උපහාසයට ගැනීමට යොදාගත්තක් තවත් කතාවක් සදහන් කරමින් අවසන් කරමි.
වසර ගනනාවකට පෙර විජය මාලනී රඟපෑ "මේ දෑස කුමටද" චිත්‍රපටිය මාතර සිනමා ශාලාවක ප්‍රදර්ශනය ආරම්භ කලද කිසිවෙකු එය නැරබීමට පැමිනියේ නැත. දින කීපයක් ගතවු පසු ‍ කාරණය තේරැම් ගත් සිනමා ශාලා කලමනාකරැ දැන්වීම් පුවරැව " මේ දෑස මක්කටෙයි" යනුවෙන් වෙනස් කරන ලදී. පසුව ශාලාව ඉතිරීයන තරම් සෙනග පැමින ඇත.



Friday, March 15, 2013

සීතල පොලොවම

සීතල පොළොවම සිරියහනක් වේවා
ගෝනි පඩංගුව මුදු පලසක් වේවා
ජේලර මහතුන් නෑදෑයෝ වේවා
තැටියේ බත්පත දිවබොජුනක් වේවා

මා මුරගෑවේ පිහිටක් අයදින්ටයි
දණ වැද්දෙකුගෙන් බඹසර රැකගන්ටයි
ඔබ දිව ආයේ මා දිවි ගලවන්ටයි
අවි එසවූ‍යේ යුක්තිය විසඳන්ටයි

දිළීඳූ ලඳුන්ගේ කුමරි දිවිය උන්ගේ
කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගේ
පොලිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ
නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ

තුලාව ගෙන නෙත්යුග බැඳ රෙදි කඩකින්
නීතියෙ යුවතිය වැජඹෙයි අද නිදුකින්
ඔබවන් මිනිසුන් වෙනුයෙන් ඇන සැතකින්
මරා දමමි ඇය මරා දමමි සැණෙකින්...

           නන්දා මාලිනි ගායනා කරන මෙම ගීතය  එකල සිරගතව සිටි සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ගැයූවක් ලෙස  වැරදි අර්ථකතනයක් සහිතව අන්තර්ජාලයේ පසුගිය කාලයේ අප දුටුවා.ඇත්තටම මෙම ගීතය පවන ප්‍රසංගය වෙනුවෙන් ගයන ලද ගීතයක්. පවන ප්‍රසංගය සහ ගීත ඇල්බමය ඒ කාලේ තිබු රජය විසින් තහනම් කලා...
ඇත්තටම ඔය ගීතයේ තියෙන්නෙ තමන්ගෙ බිරිඳව දූෂණය කරන්න ආපු රජයේ මැරයන්ට අභියෝග කරපු සැමියෙක්ව, නිල බලය, මැර බලය පාවිච්චි කරල උස්සගෙන ගිහින් වධකාගාරයකට දැම්මට පස්සෙ බිරිඳකට පහල වෙන සිතුවිලි..... 


Thursday, March 14, 2013

ප්‍රතිරූප වන්දනාව

මිනිසා කවදත් තමන්ට වඩා ඉදිරියෙන් සිටින්නකු වෙත කිසියම් ගෞරව පූර්වක බැල්මක් හෙලූ සත්ත්‍වයෙකි. ඒ නිසා ඒ පුද්ගලයා වටා  ප්‍රතිරූපයක්  ගොඩනගා ගනී. බටහිර සංස්කෘතියේ. යුරෝපයේ. (අප ජීවත් වන ග්‍රීසියේද)  වැඩිහිටියන්ට ගරු කිරීම හෝ උගතාට/ඉහළ මට්ටමේ රැකියාවක් කරන පුද්ගලයෙකුට එතරම් ගරු කිරීමක් නැත්තේ, සියල්ල සමානව සැලකීමට පුරුදුව ඇති නිසාය. යුරෝපයේ තවමත්  අවම වශයෙන් අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ මේ ගරුත්‍වය තරමක් හෝ දුරට රැඳී පවතී. ආසියාව තවමත් ප්‍රතිරූප වන්දනාව ඉහළින්ම ඇති කලාපයකි. මේ පුද්ගල/ප්‍රතිරූප වන්දනාවට ඉහළින්ම පාත්‍ර වන්නේ වෛද්‍යවරු – විශ්ව විද්‍යාල ආචාර්යවරු – ඉංජිනේරුවරු – නීතීඥයින් වැනි ඉහළ තලවල රැකියා දරන පුද්ගලයින් ය. එසේම පසුගිය යුධ කාළයේ ත්‍රිවිධ හමුදාවල සේවය කරන්නන් වන්දනා කළේ රණවිරුවන් යන නාමයෙන් වුවත්, දැන් දැන් කාර් රේස් සඳහා වැලි කොට්ට අදින, අතිරික්ත එළවලු වෙළඳාම් කරන පුද්ගලයින්ගේ තත්ත්‍වයට ඔවුන් පත්ව ඇත්තේ අපට ඇති සති දෙකේ මතකය නිසාම විය හැකිය.  ඊට අමතරව කෘත්‍රිමව ඇතිකරගත් ප්‍රතිරූප වන්දනාවට අනුකූලව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට ජනාධිපතිතුමා දක්වා විවිධාකාර දේශපාලනඥයින් සහ හෙංචයියන් පුද්ගල වන්දනාවට ලක්වෙති. ඒ බොහෝ දුරට එකිනෙකාගේ පෞද්ගලික වාසි ලබා ගැනීම පිණිසය.
නළු නිළියන් සහ ක්‍රීඩකයින් මෙන්ම වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයින් බොහෝ විට සිය දක්‍ෂතාවය මත කැපී පෙනෙන නිසා ප්‍රතිරූප වන්දනාවට ලක්වෙති. දක්‍ෂ නළු නිළියන් සහ දක්‍ෂ ක්‍රීඩකයින් මේ තත්ත්‍වයෙහි ඉදිරියෙන් සිටිති. මෙයට අමතරව මාධ්‍යවල අවශ්‍යතාවය මත පිම්බෙන සහ හැකිළෙන ප්‍රතිරූප වන්දනාවක් ද දැකිය හැක. නයි නළඟන මාධ්‍යවලට මහඟු වස්තුවක් වූයේත්, ආචාර්ය මර්වින් සිල්වා වැන්නන්ගේ සුළු චලනයක් වුවත් මාධ්‍යවලට සුවිශාල ආකර්ෂණයක් වන්නේත් මේ නිසාය.

කපුගේ..........

(කපුගේ මියගියදා මාගේ දින නැති දිනපොතේ තැබු සටහනක්)

මේ සොදුරු මිනිසා මියගිය පුවත
මා සිත කම්පනයට පත්කලා.
ගායකයෙකු වශයෙන් පමනක් නොව
තමන්ගෙ පන්තිය වෙනුවෙන් කැපවුන, වෙහෙසුන,
පරිත්‍යාග කල, මානවහිතවාදියෙකු ලෙස
අපි ඔබව හදුනාගෙන සිටියා.
කපුගේ..... අපි ඔබට මෑතකදි නිවන් නොපතමි.
නැවත අප දෙරණ ඉපදී
අප දු දරුවන්ගෙ හදවතට ගී ගයනු මැනවී.....
         .....සබද අපි කදු නොවෙමු උනුන් පරයා නෑගෙන
              සුනිල දිය දහර වෙමු එකම ගගකට ගලන........

සලු වියන ඇයට.....

(මෙය මාගේ දින නති දින පොතේ 2001 වසරේ ලියු සටහනක්)

යකඩ අශ්වයා පිට නැග
කම්හල දොර අභියස බලා සිටින
සිහින කුමරුගෙ උරමත
රදවාගෙන නුබ හිස
ඉගිලෙන්නට සිහින මවන කුමාරියෙ.......
බලාගෙනයි !
මැෂිමෙ දැති රෝදෙට
තැලී යාවි නුඔ අත් දෙක
එහෙම උනොත් කුමරියේ
විසිවෙන්නෙ නුඔ හෙට
කම්හලෙන් වගේම
සිහින සාප්පුවෙන් එලියට.......
      නිමිත්ත - කොට්ටාව "රුහුණු වෙයාර්" ඇගලුම් කම්හල ඉදිරිපස දුටු දසුනක්

Wednesday, March 13, 2013

ආගමික ත්‍රස්තවාදය

ආගමක් හෝ දර්ශනයක් යනු මිනිසා ප්‍රකෝප කරවන සංකල්පයක් නොවන බව කවුරුත් දන්නා කරුණකි. කිසිදු ආගමක හිංසාව සහ පීඩාව අනුමත කර නැත.පරම අවිහිංසාවාදී දහමක් වන බුදු දහමටද මේ තත්වය පොදුය.බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ සියලු සත්වයින්ට කරුණාව දැක්විය යුතු බවයි.ඒ අනුව යමින් සියලු සත්වයින්ට මෛත්‍රිය දක්වන බවට උදේ හවස සපථ කරන ඇතැම් ඊනියා අන්තවාදීහු මේ දිනවල කඩු පොලු මුගුරු අතින් ගෙන බුදු දහම සුරැකීමේ සටනට එලැඹ සිටීයි.

 ශ්‍රීලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස තහවුරු කර තිබියදීත් ක්‍රියාත්මක කෙරෙන මෙම බෞද්ධ ත්‍රස්තවාදයේ සැබෑ අරමුණ කුමක්ද?සැබැවින්ම බුදු දහම සුරැකීමද?
 මාක්ස්ට අනුව ආගම වනාහි පීඩිතයාගේ සුසුමයි.හදවතක් නෙමැති ලොකයේ හදවතයි.ආත්මයක් නොමැති තැන ආත්මයයි.ජනතාවගේ මත් ද්‍රව්‍යයයි.ක්‍රිෂ්ණමුර්තිට අනුව ආගමක් මගින් ප්‍රධාන වශයෙන් සිදුකරනුයේ මිනිසුන් අතර බෙදීම් ඇති කිරීමයි.එමෙන්ම එදිනෙදා ජීවිතයේදී කටුක යථා ස්වභාවය අමතක කිරීමහිලා මිනිසා පාවිච්චි කරන මෙවලම් අතර ආගම ද ජනප්‍රිය  මෙවලමක් බව ක්‍රිෂ්ණ මුර්ති පෙන්වා දෙයි.
 දැන් කාරණාව පැහැදිලිය.ඉහත කී බෞද්ධ ත්‍රස්තවාදයේ අරමුණ කුමක්දැයි හදුනා ගැනීමට මෙම නිර්වචන හොදටම ප්‍රමාණවත් වෙයි.
කිසිදු දවසක තමන් වහන්සේ වෙනුවෙන් පිළිම ඉදිකොට වන්දනා මාන කරන්නට බුදුන් කීවේ නැත.බුදුන් දවස ගස් ගල් අදහන්නන් මිත්‍යාදෘෂ්ටිකයින් වු බව කවුරුත් දන්නා කරුණකි.එවා සත්‍යෙයන් තොර බව බුදුන් පවා අනු දැන වදාරා තිබේ.
 
එසේ නම් ධර්මය රකිනු වෙනුවට පිළිම රකින්නට පොලු මුගුරු අතින් ගැනීම මොන තරම් සාධාරණ වේද?මේ ඉටුවෙමින් තිබෙන්නේ සැබෑ බෞද්ධ වුවමනාවද?මෙරට ගුවන් විදුලි නාලිකා රූපවාහිනි නාලිකා සියල්ලක්ම පාහේ උදේ හවස ප්‍රචාරය කරන ආගමික වැඩසටහන් ගෙන බැලුවහොත් මෙරට ධර්ම රාජ්‍යයක් කිරීමට රතන හිමියෝ පාර්ලිමේන්තුවට වැඩම කරවිය යුතු නැත.එමෙන්ම බොදු බල සේනා වැනි ස්වයං ආතල් සංවිධාන පොලු මුගුරු ගෙන ත්‍රස්තවාදයේ නිරත විය යුතුද නැත.