පසුගියදා මෙහි පැවති ආධුනික ගී ප්‍රසංගයෙදි ගැයුනු ගී වලට එතරම් උනන්දුවෙන් සවන් නොදුන්නත් අහම්බෙන් කණ වැකුනු සඳ සාවී මා ගීතය අවසන් වනතෙක් මා අසා සිටියා. එම ගීතය ගැයු ආධුනික ගායිකාවට සාධාරණයක් ඉටු වුවාද යන්න වෙනම කාරණයක්. මාගේ මෙම ලිපියේ අරමුණ එම ගීතයේ අන්තර්ගතය පිලිබද සටහනක් තැබීමයි.
වසන්තා මදුරාංගනී ගයන මෙම ගීතය ජන සංගීතය ඇසුරැ කරගෙන වෙස්සන්තර විරිතට අනුව තනුව මුසුකර ඇත්තේ අප අතරින් වියෝවුන ලයනල් රන්වලයන්ය.
සඳ සාවී මා ගීතයට පදනම වී ඇත්තේ ලංකාවෙ අතීතයේ සුප්‍රකට බඹර කැපීම හා සම්බන්ධ සිද්ධියකි. බඹර කපනවා යනු විශාල ගල් පර්වතවල බඹරැන් විසින් බැද ඇති බඹරවද කඩා එහි ඇති පැණි එකතුකර ගැනීමයි. සාමාන්‍යයෙන් බඹරැන් බඹරවද සාදන්නේ ගල් පර්වතවල ඉහලට වෙන්නටය. බඹර කපන්නා ඒ කාර්යයට යන්නේ සවිමත් කඹයක් අතැතිව තවත් කෙනෙකු සමගය. එක් අයෙකු ගල මුදුනේ සිට යම් කිසි තැනක හිරකර කඹය අල්ලාගෙන සිටියදී අනෙකා කඹය දිගේ පහලට බැස බඹරවදය කඩා පැනි ගනියි. මෙම කාර්යයට යන අය කඹය අල්ලාගැනීමට රැගෙන යන්නේ තම මස්සිනාය.(බිරිදගේ සහෝදරයා). එයට හේතුවක් ඇත. එනම් උඩ සිටින්නා කඹය අතහැරියොත් ඔහුගේ ජිවිතය අවසානය. තමාගේ පණ නැසුනොත් තනි වන්නේ උඩ සිටින්නාගේ සොහොයුරිය බැවින් එසේ නොකරන බව බඹර කපන්නාට විශ්වාස බැවිනි. "කඹය දෙන්නෙත් මස්සිනාටයි" යන ප්‍රකට කියමන සෑදි ඇත්තේත් මෙම හේතුව පදනම් කර ගෙනය.
සඳ සාවී මා ගීතයෙන් කියවෙන්නේ තම සැමියා සමග බඹර කැපීමට කැලයට ගිය සහෝදරයා නැවත පැමිනියේ තනිවම බැවින් තම සැමියාට කුමක් වුයේද යන්න සහෝදරයාගෙන් විමසන ශෝකාකූල වැලපිල්ලයි.
සඳ සාවී මා . . .
සඳ මඩලේ පාළුවේ මෙදා
බඹර ගලින් රූටාලා
සඳ නිවුනිද කියපන් මයෙ මලයා
සඳ නිවුනිද කියපන් මයෙ මලයා
දෙමස්සිනාලා . . .
මල් පැණි බීවා දෝ...
බඹර කපන්ටා..බඹර කපන්ටා
බමන මතින් කරනම් ගැසුවාදෝ
තනි වූවේ මාවයි මයෙ මලයා
තනි වූවේ මාවයි මයෙ මලයා
සිත පෑරීලා
බඹරුන් ඇන්නා දෝ...
අම්මාපල්ලා ...අම්මාපල්ලා
උන් ඒ වග දන්නේ නැතුවාදෝ
තනි වූවේ මාවයි මයෙ මලයා
තනි වූවේ මාවයි මයෙ මලයා
ගීතය මෙතැනින් අසන්න.....
No comments:
Post a Comment