Saturday, March 23, 2013

සයිප්‍රස් බැංකු අර්බුදය....


පසුගිය අගහරැවාදා  මා වැඩට යනවිට ඇලෙක්සැන්ඩ්‍රා පාරේ ඇති සයිප්‍රස් බැංකු මුලස්ථානය අසල විශාල කලබගෑනියක් දුටිමි. මිනිසුන් විශාල පිරිසක් මුදල් ලබා ගැනීමට ට්‍රෙලර් යන්ත්‍රය අසල පෙල ගැසි සිටි අතර තවත් විශාල ප්‍රමාණයක් බැංකුවට ඇතුල්වීමට උත්සාහදරමින් සිටියහ. රෑපවාහිණි නාලිකා සියල්ලම පාහේ කැමරා බැංකුව දෙසට යොමුකර ඒ අසල රැදී සිටියහ.
වැඩ නිමවී සවස නිවසට පැමිණ මා අන්තර්ජාලය මගින් උදයේ දුටු සිද්ධියේ කරැණු සොයනා විට දැනගත් දේ පහත සටහන් කරමි. ( කරැණු සපයාගත්තේ  reuters, europa.eu/news වෙබ් අඩවි ඇසුරෙනි.)
යූරෝපාකලාපය තුළ මීළඟට ආර්ථික වශයෙන් වැනසී යාමට සිටින රට බවට සයිප්‍රසය පත්වෙමින් තිබෙන බව මෙම සඳුදා දින ප්‍රකාශයට පත් වූ වාර්තාවක සඳහන්ව ඇත..
ග්‍රීසීයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඒහි ඝෘජු බලපෑමක් ලෙස සයිප්‍රසය ද මෙසේ බංකොලොත් තත්ත්වයට පත්ව ඇති බව සඳහන් වේ.
යුරෝපීය සංගමයේ මුදල් ඇමතිවරුන් ණය බරින් ඉන්නා අසල්වැසි ග්‍රිසියෙන් සයිප්‍රසයට ඇති බලපෑම නිසා යුරෝ බිලියන 10 ක සහනාධාර ලබා දෙනු පිණිස ගෙනා එක් යෝජනාවක් වූයේ ඔවුන්ගේ බැංකු වල ඇති තැන්පතු වලින් 9.9% ක් අහිමිකරණයට (forfeit) සයිප්‍රසය කැමති කරවා ගැනීමයි. ඉරිදා උදෑසන තීරණය ප්‍රසිද්ධ වීමත් සමඟ පුදුමයට පත් වූ සයිප්‍රස් වැසියන් පැය ගණනක් තුල දී සල්ලි මුදල් තම බැංකු ගිණුම් වලින් එළියට ගෙන බැංකු චකිතයක් ඇති කරන්නට සමත් වූහ. ඉලෙක්ට්‍රොනික් සල්ලි යැවීම වහාම නතර කරන ලදි.
සයිප්‍රස් වැසියන් ගේ තැන්පතු වලින් යම් ප්‍රතිශතයක් ගැනීමෙන් යුරෝ බිලියන 6 ක් සෙවීම සයිප්‍රස් පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුත්තකි. සයිප්‍රස් පාර්ලිමේන්තුවේ සුළු පක්ෂ මිසක මහා පක්ෂයකට බලයක් නැත. මෙය නොකළ හොත් නිකොස් ඇනස්ටාසියාඩේස් ජනාධිපතිවරයා කියන්නේ සයිප්‍රසයේ විශාලතම බැංකු දෙක කඩා වැටෙන බවයි.
සයිප්‍රසයේ දී බැංකු ණය නොගෙවීමක් සිද්ධ වුවහොත් එයින් යුරෝ කලාපීය තුල ආයෝජක විශ්වාසයන් පළුදු වී ගොස් යුරෝපීය මධ්‍යම බැංකුව විසින් යුරෝ කලාපය තුල යුරෝව ස්ථාවර ව තබා ගන්නට ගන්නා සියළු උත්සාහයන්ට ද බලවත් පහරක් එල්ල වනු ඇත.
මෙතෙක් යුරෝපීය මධ්‍යම බැංකුව විසින් කිසි විටෙක බැංකු තැන්පතු වලට අත ගැසීමක් නොකළහ. මෙයින් මේ වෑයම කලාපයේ වෙනත් රටවල් වලට ද පැතිර යන්නේ නැතැයි කියන යුරෝ නිලධාරීන්ගේ ප්‍රකාශය කිසිවෙක් පිළිගන්නා බවක් දැනට පෙනෙන්නට නැත.
එසේම, මෙයට ඉඩක් ලැබුනහොත් යුරෝ කලාපයෙන් පූර්වාදර්ශයක් ගනිමින් අනෙකුත් බංකොළොත් රටවල් වලට පැතිර යාමේ අවදානමක් ද නැතැයි කීමටද බැරිය.
සති තුනකට පමණ පෙර බලයට පත් වූ ජනාධිපති ඇනස්ටාසියාඩේස් කියා සිටින්නේ එක්කෝ මහා විනශාකාරී අවුලකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා නැත්නම් මේක නිසි කළමනාකරණයකින් බේරා ගත හැකියි කියාය.
සයිප්‍රස් බැංකු යුරෝපය පුරා සහ රැසියානු රටවලද ඇති වල තැන්පතු ඇත්තේ සයිප්‍රස් මුදල් පමණක් නොවේ. රුසියානුවන් මහත් පිරිසක් ද, සෙසු යුරෝපීයයන් ද සයිප්‍රස් බැංකු වල මුදල් තැන්පතු කර ඇත්තහ.
ඉතාලිය, අයර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය හා දෙවරක් බේරාගත් ග්‍රිසිය යුරෝ කලාපයේ දැඩි මූල්‍ය ගැටළු ඇති කරමින් සිටින අතර විසඳුම් කිසිවකට කැමති ජනතාවක් වාසය නොකරන රටවල් වෙති. ආණ්ඩුවේ සහනාධාර භුක්ති විඳින ඔවුන් ඒවා අඩුවෙනවාට අකමැතිය. එහෙත් සහනාධාර ලැබෙන මාර්ග සියල්ලම දැන් හිඳී ඇතැයි ඔවුන් පිළිගන්නට ද අකමැතිය. ආණ්ඩු සහ බැංකු කුමන ගිවිසුමකට එළඹුනත්, අවසානයේ අහිමි වන්නේ තමන්ගේ තැන්පතු බව යුරෝ කලාපීය පුරවැසියන් තවමත් මුහුණ දෙන්නට අකමැති තිත්ත ඇත්තයි
.

Friday, March 22, 2013

සදසාවී මා......

පසුගියදා මෙහි පැවති ආධුනික ගී ප්‍රසංගයෙදි ගැයුනු ගී වලට එතරම් උනන්දුවෙන් සවන් නොදුන්නත් අහම්බෙන් කණ වැකුනු ‍සඳ සාවී මා ගීතය අවසන් වනතෙක් මා අසා සිටියා. එම ගීතය ගැයු ආධුනික ගායිකාවට සාධාරණයක් ඉටු වුවාද යන්න වෙනම කාරණයක්. මාගේ මෙම ලිපියේ අරමුණ එම ගීතයේ අන්තර්ගතය පිලිබද සටහනක් තැබීමයි.
වසන්තා මදුරාංගනී ගයන මෙම ගීතය ජන සංගීතය ඇසුරැ කරගෙන වෙස්සන්තර විරිතට අනුව තනුව  මුසුකර ඇත්තේ අප අතරින් වියෝවුන ලයනල් රන්වලයන්ය.
සඳ සාවී මා ගීතයට පදනම වී ඇත්තේ ලංකාවෙ අතීතයේ සුප්‍රකට බඹර කැපීම හා සම්බන්ධ සිද්ධියකි. බඹර කපනවා යනු විශාල ගල් පර්වතවල බඹරැන් විසින් බැද ඇති බඹරවද කඩා එහි ඇති පැණි එකතුකර ගැනීමයි.  සාමාන්‍යයෙන් බඹරැන් බඹරවද සාදන්නේ ගල් පර්වතවල ඉහලට වෙන්නටය.  බඹර කපන්නා ඒ කාර්යයට යන්නේ සවිමත් කඹයක් අතැතිව තවත් කෙනෙකු සමගය. එක් අයෙකු ගල මුදුනේ සිට යම් කිසි තැනක හිරකර කඹය අල්ලාගෙන සිටියදී  අනෙකා කඹ‍ය දිගේ පහලට බැස බඹරවදය කඩා පැනි ගනියි. මෙම කාර්යයට යන අය කඹය අල්ලාගැනීමට රැගෙන යන්නේ තම මස්සිනාය.(බිරිදගේ සහෝදරයා). එයට හේතුවක් ඇත. එනම් උඩ සිටින්නා කඹය අතහැරියොත් ඔහුගේ ජිවිතය අවසානය. තමාගේ පණ නැසුනොත් තනි වන්නේ උඩ සිටින්නාගේ සොහොයුරිය බැවින් එසේ නොකරන බව බඹර කපන්නාට විශ්වාස බැවිනි. "කඹ‍ය දෙන්නෙත් මස්සිනාටයි" යන ප්‍රකට කියමන සෑදි ඇත්තේත් මෙම හේතුව පදනම් කර ගෙනය.
සඳ සාවී මා ගීතයෙන් කියවෙන්නේ තම සැමියා සමග බඹර කැපීමට කැලයට ගිය සහෝදරයා නැවත පැමිනියේ තනිවම බැවින් තම සැමියාට කුමක් වුයේද යන්න සහෝදරයාගෙන් විමසන ශෝකාකූල වැලපිල්ලයි.

සඳ සාවී මා . . .
සඳ මඩලේ පාළුවේ මෙදා
බඹර ගලින් රූටාලා
සඳ නිවුනිද කියපන් මයෙ මලයා
සඳ නිවුනිද කියපන් මයෙ මලයා

දෙමස්සිනාලා . . .
මල් පැණි බීවා දෝ...
බඹර කපන්ටා..බඹර කපන්ටා
බමන මතින් කරනම් ගැසුවාදෝ
තනි වූවේ මාවයි මයෙ මලයා
තනි වූවේ මාවයි මයෙ මලයා

සිත පෑරීලා
බඹරුන් ඇන්නා දෝ...
අම්මාපල්ලා ...අම්මාපල්ලා
උන් ඒ වග දන්නේ නැතුවාදෝ
තනි වූවේ මාවයි මයෙ මලයා
තනි වූවේ මාවයි මයෙ මලයා

ගීතය මෙතැනින් අසන්න.....

Sunday, March 17, 2013

ගම මාතර

මාතර පලාතේ ගුරැවරියක් කොළඔ පාසලක උගන්වන විට ‍ඇහැක් විදියට කණක් අදින්න යයි කී විට ලමුන් තුෂ්නිමිභුතව බලා සිටියේ යයි කතාවක් මා අසා ඇත. මෙම කතාව මාතර භාෂා ශෛලිය උපහාසයට ගැනීමට යොදාගත්තක් වුවත් ‍ඇහැක් විදියට කණක් අදින්න යන්නෙහි තේරැම පුලුවන් විදියට කණක රෑපයක් අදින්න යන්නයි.
මාතර භාෂාවෙ හුගක් වචන වෙනස්ය. මමද මාතර උපත ලැබ උසස් අධ්‍යාපනය ලැබීමට අගනුවරට පැමිනත් කාලයක් ගතවනතෙක් කතාබහ කලේ එම වචනය. දෑනුදු කලාතුරකින් වුවත් ගමට ගියවිට කතාබහේදි එම බස මුවට නැගෙන්නේ අප එම බස සමග ඇති පාරම්පරික බැදීම හේතුවෙනි.
ලංකාවට නිවාඩුවට ගිය විට හැකි විගස ගමට ඉගිලෙන්නේ එහි ඇති මිහිර සුන්දරත්වය විදීමටයි. අපගේ නැදෑ හිතමිතුරන් සමග සෙනෙහස බෙදාගෙන ගෙවන ඒ සුලු කාලය මනසට නව ප්‍රබොධයක් ගෙනදෙන්නේ නිතැතිනි. ගමේදි හමුවන කතාබස් කරන සියලු දෙනා නෑදෑයින් වුවද නොවුවද එකිනෙකා අමතන්නෙ නම අගට නෑකමක් සමගය.  ....... මාමා, ........නැන්දා, .......අය්යා, .......මල්ලි වශයෙන් නමට අගින් යොදා කතාබහ කිරීම එහි සිරිතයි.
මාතරදී වචනවල ඇති වෙනස විමසා බලනවිට. ඔබ (ඔයා) යන්න මාතරදී "ඔහේ" ය. ඔහේ යනුවෙන් ඇමතීම වඩාත් ලෙන්ගතු කමක් පෙන්වයි. මාතරදී හාමුදුරුවන්ද, මව මෙන්ම පියාද ඔහේ වන්නේය. කෙසේ වෙතත් මාතරදී කාටවත් තමුසේ කියා ඇමතීමෙන් වලකිනවා නම් ඇඟට ගුණය. ඒ මාතරදී තමුසේ කියා ඇමතීම එතරම් සුහද ඇමතීමක් නොවන බැවිනි.
ගමේදි හමුවන අයෙකු මාගෙන් " ඔහේ රට ඉදල ආවෙ කවදැයි " කියා විමසයි. කවදාද යන්න මාතරදී කියන්නේ කවදැයි කියාය. කතාබස් කරන අතර මෙරට වර්ථමාන තත්වය ගැන පැවසු විට ඔහු අසන්නනේ  "ඔහේ කියන විදියට තවත් එහේ ජීවත්වෙන්න ඇහැකියැ". අර "මක්කටෙයි " තවක් එහේ ඉන්නේ. ලංකාවට ආවනං අවරයිනේ. මාතර භාෂවෙන් කවදාද යන්න කවදැයි වේ. පුලුවන්ද යන්න ඇහැකියැ වේ. තවද කුමකටද යන්න මාතරදී මක්කටෙයි වේ.
මාතර දරුවන්ට ආච්චිලා සීයලා නැත. ඉන්නේ ආත්තලා, මුත්තලාය. දණහිස් කටුවට මාතරදී කියන්නේ දණ පොලොත්ත කියාය. දිය ලුණු දමන්නේ පොල්කටුවේ නොව ලුණු පොලොත්තේය.
පාපැදියක ලගේජයේ බැදි  පෙට්ටියක මාලු අසුරාගෙන විමලෙ මාලු විකිනීමට ගමට එයි. බාල මහලු කවුරුත් ඔහුට විමලෙ අයියා කියා අමතයි. විමලෙ අයියා සෑම කාන්තාවකටම අමතන්නේ හාමිනේ කියාය. පිරිමි අයට මහත්තයා ය. විමලෙ අයියාගෙන් මාලු ගැනීමට ගොස් අපේ අම්මා මෙසේ කියයි  " අපෝ මේ හින්නංකිතර අලගඩු පැටියට රුපියල් තිහක් හොදටම වැඩියි ". මාතරදී කුඩා නැතිනම් පුංචි යන්න පවසන්නේ හින්නංකිතර කියාය. සමහර මාලු වර්ග වලට මාතර වෙන නම් ඇත. දැනට එම නම් මගේ මතකයට නොනැගෙයි. ඉතා කුඩා මාලු වර්ගයකට "කලවැන්නෝ " කියා කියන බව මතකයේ ඇත.
ගස්ලඹු යනුවෙන් හඳුන්වන පලතුර මාතරදී පැපොල්ය. දිවුල් මාතර අයට ජූල්ය. මාතර කූඹි නැති අතර ඉන්නේ හින්නෝය.
ළමයින්ට උප්පැන්න සහතිකයට නමක් යෙදුවත් නිවසේ ආදරයට ඇමතීමට වෙනත් නමක් පටබැදීම මාතර සමාන්‍ය සිරිතය. බොහෝ විට හිච්චි පුතා. රං පුතා. සුදු පුතා. වැනි වි‍ශේෂන පදයක් සහිත පුතා යන පදය යෙදීම සිරිතයි. මේ අය වයසින් මුහුකුරා යනවිට හිච්චි මහත්තයා. රං මහත්තයා. සුදු මහත්තයා වෙයි. මාගේ බාප්පා හින්නි මහත්තයා ය. ලොකු තාත්තා හීන් මහත්තයා ය. තවද  මෙවැනි විශේෂන පද සහිත නම් ඇති ‍ඥාති විශාල පිරිසක් මට මෙන්ම මාතර ගම වු සැමටම ඇත.
මාතර ගෙවල්වල බත උයනවා වෙනුවට බත පිහයි. ඵණු. කොස් ඇට වැනි දේ පොතු ඇර සුද්ද කරනවාට කියන්නේ   ඵණු හොදකරනවා නැතිනම් කොස් ඇට හොදකරනවා යනුවෙනි. කෙහෙල්මුව මාතරදී වතුමොයිය. තවද පොල් ලෙලි ගසනවාට මාතර කියන්නේ පොල් ඔයනවා ය. මල් පොහොට්ටු  මාතරදී මල් කුප්පි ලෙස හදුන්වයි.
මා ගමට ගියවිට අසල්වැසි ඥාතියකු පැමින ආගිය තොරතුරැ කතා කරමින් සිටින විට අපේ අම්මා මෙසේ පවසයි. "එහෙනං ඔහෙලා දෙන්නා දොඩ දොඩ ඉන්න. මම තේ  ටිකක් වක්කොරන්නං. මාතර භාෂාවෙන් කතා කරනවාට කියන්නේ දොඩනවා කියාය. තේ සාදනවාට වක්කොරනවා කියයි.
තවත් මෙවැනි යෙදුම් බොහෝ ඇතත් ලිපිය දිග වැඩිවන නිසා මාතර භාෂා ශෛලිය උපහාසයට ගැනීමට යොදාගත්තක් තවත් කතාවක් සදහන් කරමින් අවසන් කරමි.
වසර ගනනාවකට පෙර විජය මාලනී රඟපෑ "මේ දෑස කුමටද" චිත්‍රපටිය මාතර සිනමා ශාලාවක ප්‍රදර්ශනය ආරම්භ කලද කිසිවෙකු එය නැරබීමට පැමිනියේ නැත. දින කීපයක් ගතවු පසු ‍ කාරණය තේරැම් ගත් සිනමා ශාලා කලමනාකරැ දැන්වීම් පුවරැව " මේ දෑස මක්කටෙයි" යනුවෙන් වෙනස් කරන ලදී. පසුව ශාලාව ඉතිරීයන තරම් සෙනග පැමින ඇත.



Friday, March 15, 2013

සීතල පොලොවම

සීතල පොළොවම සිරියහනක් වේවා
ගෝනි පඩංගුව මුදු පලසක් වේවා
ජේලර මහතුන් නෑදෑයෝ වේවා
තැටියේ බත්පත දිවබොජුනක් වේවා

මා මුරගෑවේ පිහිටක් අයදින්ටයි
දණ වැද්දෙකුගෙන් බඹසර රැකගන්ටයි
ඔබ දිව ආයේ මා දිවි ගලවන්ටයි
අවි එසවූ‍යේ යුක්තිය විසඳන්ටයි

දිළීඳූ ලඳුන්ගේ කුමරි දිවිය උන්ගේ
කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගේ
පොලිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ
නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ

තුලාව ගෙන නෙත්යුග බැඳ රෙදි කඩකින්
නීතියෙ යුවතිය වැජඹෙයි අද නිදුකින්
ඔබවන් මිනිසුන් වෙනුයෙන් ඇන සැතකින්
මරා දමමි ඇය මරා දමමි සැණෙකින්...

           නන්දා මාලිනි ගායනා කරන මෙම ගීතය  එකල සිරගතව සිටි සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ගැයූවක් ලෙස  වැරදි අර්ථකතනයක් සහිතව අන්තර්ජාලයේ පසුගිය කාලයේ අප දුටුවා.ඇත්තටම මෙම ගීතය පවන ප්‍රසංගය වෙනුවෙන් ගයන ලද ගීතයක්. පවන ප්‍රසංගය සහ ගීත ඇල්බමය ඒ කාලේ තිබු රජය විසින් තහනම් කලා...
ඇත්තටම ඔය ගීතයේ තියෙන්නෙ තමන්ගෙ බිරිඳව දූෂණය කරන්න ආපු රජයේ මැරයන්ට අභියෝග කරපු සැමියෙක්ව, නිල බලය, මැර බලය පාවිච්චි කරල උස්සගෙන ගිහින් වධකාගාරයකට දැම්මට පස්සෙ බිරිඳකට පහල වෙන සිතුවිලි..... 


Thursday, March 14, 2013

ප්‍රතිරූප වන්දනාව

මිනිසා කවදත් තමන්ට වඩා ඉදිරියෙන් සිටින්නකු වෙත කිසියම් ගෞරව පූර්වක බැල්මක් හෙලූ සත්ත්‍වයෙකි. ඒ නිසා ඒ පුද්ගලයා වටා  ප්‍රතිරූපයක්  ගොඩනගා ගනී. බටහිර සංස්කෘතියේ. යුරෝපයේ. (අප ජීවත් වන ග්‍රීසියේද)  වැඩිහිටියන්ට ගරු කිරීම හෝ උගතාට/ඉහළ මට්ටමේ රැකියාවක් කරන පුද්ගලයෙකුට එතරම් ගරු කිරීමක් නැත්තේ, සියල්ල සමානව සැලකීමට පුරුදුව ඇති නිසාය. යුරෝපයේ තවමත්  අවම වශයෙන් අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ මේ ගරුත්‍වය තරමක් හෝ දුරට රැඳී පවතී. ආසියාව තවමත් ප්‍රතිරූප වන්දනාව ඉහළින්ම ඇති කලාපයකි. මේ පුද්ගල/ප්‍රතිරූප වන්දනාවට ඉහළින්ම පාත්‍ර වන්නේ වෛද්‍යවරු – විශ්ව විද්‍යාල ආචාර්යවරු – ඉංජිනේරුවරු – නීතීඥයින් වැනි ඉහළ තලවල රැකියා දරන පුද්ගලයින් ය. එසේම පසුගිය යුධ කාළයේ ත්‍රිවිධ හමුදාවල සේවය කරන්නන් වන්දනා කළේ රණවිරුවන් යන නාමයෙන් වුවත්, දැන් දැන් කාර් රේස් සඳහා වැලි කොට්ට අදින, අතිරික්ත එළවලු වෙළඳාම් කරන පුද්ගලයින්ගේ තත්ත්‍වයට ඔවුන් පත්ව ඇත්තේ අපට ඇති සති දෙකේ මතකය නිසාම විය හැකිය.  ඊට අමතරව කෘත්‍රිමව ඇතිකරගත් ප්‍රතිරූප වන්දනාවට අනුකූලව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට ජනාධිපතිතුමා දක්වා විවිධාකාර දේශපාලනඥයින් සහ හෙංචයියන් පුද්ගල වන්දනාවට ලක්වෙති. ඒ බොහෝ දුරට එකිනෙකාගේ පෞද්ගලික වාසි ලබා ගැනීම පිණිසය.
නළු නිළියන් සහ ක්‍රීඩකයින් මෙන්ම වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයින් බොහෝ විට සිය දක්‍ෂතාවය මත කැපී පෙනෙන නිසා ප්‍රතිරූප වන්දනාවට ලක්වෙති. දක්‍ෂ නළු නිළියන් සහ දක්‍ෂ ක්‍රීඩකයින් මේ තත්ත්‍වයෙහි ඉදිරියෙන් සිටිති. මෙයට අමතරව මාධ්‍යවල අවශ්‍යතාවය මත පිම්බෙන සහ හැකිළෙන ප්‍රතිරූප වන්දනාවක් ද දැකිය හැක. නයි නළඟන මාධ්‍යවලට මහඟු වස්තුවක් වූයේත්, ආචාර්ය මර්වින් සිල්වා වැන්නන්ගේ සුළු චලනයක් වුවත් මාධ්‍යවලට සුවිශාල ආකර්ෂණයක් වන්නේත් මේ නිසාය.

කපුගේ..........

(කපුගේ මියගියදා මාගේ දින නැති දිනපොතේ තැබු සටහනක්)

මේ සොදුරු මිනිසා මියගිය පුවත
මා සිත කම්පනයට පත්කලා.
ගායකයෙකු වශයෙන් පමනක් නොව
තමන්ගෙ පන්තිය වෙනුවෙන් කැපවුන, වෙහෙසුන,
පරිත්‍යාග කල, මානවහිතවාදියෙකු ලෙස
අපි ඔබව හදුනාගෙන සිටියා.
කපුගේ..... අපි ඔබට මෑතකදි නිවන් නොපතමි.
නැවත අප දෙරණ ඉපදී
අප දු දරුවන්ගෙ හදවතට ගී ගයනු මැනවී.....
         .....සබද අපි කදු නොවෙමු උනුන් පරයා නෑගෙන
              සුනිල දිය දහර වෙමු එකම ගගකට ගලන........

සලු වියන ඇයට.....

(මෙය මාගේ දින නති දින පොතේ 2001 වසරේ ලියු සටහනක්)

යකඩ අශ්වයා පිට නැග
කම්හල දොර අභියස බලා සිටින
සිහින කුමරුගෙ උරමත
රදවාගෙන නුබ හිස
ඉගිලෙන්නට සිහින මවන කුමාරියෙ.......
බලාගෙනයි !
මැෂිමෙ දැති රෝදෙට
තැලී යාවි නුඔ අත් දෙක
එහෙම උනොත් කුමරියේ
විසිවෙන්නෙ නුඔ හෙට
කම්හලෙන් වගේම
සිහින සාප්පුවෙන් එලියට.......
      නිමිත්ත - කොට්ටාව "රුහුණු වෙයාර්" ඇගලුම් කම්හල ඉදිරිපස දුටු දසුනක්

Wednesday, March 13, 2013

ආගමික ත්‍රස්තවාදය

ආගමක් හෝ දර්ශනයක් යනු මිනිසා ප්‍රකෝප කරවන සංකල්පයක් නොවන බව කවුරුත් දන්නා කරුණකි. කිසිදු ආගමක හිංසාව සහ පීඩාව අනුමත කර නැත.පරම අවිහිංසාවාදී දහමක් වන බුදු දහමටද මේ තත්වය පොදුය.බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ සියලු සත්වයින්ට කරුණාව දැක්විය යුතු බවයි.ඒ අනුව යමින් සියලු සත්වයින්ට මෛත්‍රිය දක්වන බවට උදේ හවස සපථ කරන ඇතැම් ඊනියා අන්තවාදීහු මේ දිනවල කඩු පොලු මුගුරු අතින් ගෙන බුදු දහම සුරැකීමේ සටනට එලැඹ සිටීයි.

 ශ්‍රීලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස තහවුරු කර තිබියදීත් ක්‍රියාත්මක කෙරෙන මෙම බෞද්ධ ත්‍රස්තවාදයේ සැබෑ අරමුණ කුමක්ද?සැබැවින්ම බුදු දහම සුරැකීමද?
 මාක්ස්ට අනුව ආගම වනාහි පීඩිතයාගේ සුසුමයි.හදවතක් නෙමැති ලොකයේ හදවතයි.ආත්මයක් නොමැති තැන ආත්මයයි.ජනතාවගේ මත් ද්‍රව්‍යයයි.ක්‍රිෂ්ණමුර්තිට අනුව ආගමක් මගින් ප්‍රධාන වශයෙන් සිදුකරනුයේ මිනිසුන් අතර බෙදීම් ඇති කිරීමයි.එමෙන්ම එදිනෙදා ජීවිතයේදී කටුක යථා ස්වභාවය අමතක කිරීමහිලා මිනිසා පාවිච්චි කරන මෙවලම් අතර ආගම ද ජනප්‍රිය  මෙවලමක් බව ක්‍රිෂ්ණ මුර්ති පෙන්වා දෙයි.
 දැන් කාරණාව පැහැදිලිය.ඉහත කී බෞද්ධ ත්‍රස්තවාදයේ අරමුණ කුමක්දැයි හදුනා ගැනීමට මෙම නිර්වචන හොදටම ප්‍රමාණවත් වෙයි.
කිසිදු දවසක තමන් වහන්සේ වෙනුවෙන් පිළිම ඉදිකොට වන්දනා මාන කරන්නට බුදුන් කීවේ නැත.බුදුන් දවස ගස් ගල් අදහන්නන් මිත්‍යාදෘෂ්ටිකයින් වු බව කවුරුත් දන්නා කරුණකි.එවා සත්‍යෙයන් තොර බව බුදුන් පවා අනු දැන වදාරා තිබේ.
 
එසේ නම් ධර්මය රකිනු වෙනුවට පිළිම රකින්නට පොලු මුගුරු අතින් ගැනීම මොන තරම් සාධාරණ වේද?මේ ඉටුවෙමින් තිබෙන්නේ සැබෑ බෞද්ධ වුවමනාවද?මෙරට ගුවන් විදුලි නාලිකා රූපවාහිනි නාලිකා සියල්ලක්ම පාහේ උදේ හවස ප්‍රචාරය කරන ආගමික වැඩසටහන් ගෙන බැලුවහොත් මෙරට ධර්ම රාජ්‍යයක් කිරීමට රතන හිමියෝ පාර්ලිමේන්තුවට වැඩම කරවිය යුතු නැත.එමෙන්ම බොදු බල සේනා වැනි ස්වයං ආතල් සංවිධාන පොලු මුගුරු ගෙන ත්‍රස්තවාදයේ නිරත විය යුතුද නැත.